Mahiyangana, Sri Lanka
ඓතිහාසික මහියංගන පුදබිම බුදුරජාණන්වහන්සේගේ ජීවමාන කාලය දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, ශාසනික වශෙයන් ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම පුදබිම ක්‍රි.පූ. 06 වන සියවසේ ආරම්භ වූ සිද්ධස්ථානයක් ලෙසට මහා වංශයේ මුල්ම පරිච්ඡේදයේ සදහන් වේ. බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්ව මාස 09ක් වැනි කෙටි කාලයක් තුළදී දුරුතු පුර පසෙලාස්වක පොහොය දින මහියංගනයට වැඩම වූ බවත්, ඒ් අනුව මෙම ප්‍රදේශයේ ජීවත් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවට ධර්මාවබෝධයක් ලබා දුන් බවත්, එහිදී ඔවුන් අතර ඇතිවෙමින් තිබූ අරගලයක් සංසිදවූ බවත්, එවකට මෙම ප්‍රදේශය පාලනය කළ සුමන නම් ප්‍රාදේශීය පාලකතුමා බණ අසා සෝවාන් ඵලයට පත්වූ බවත්, අනතුරුව උන්වහන්සේ මහියංගනයෙන් පිටත්ව වැඩිය බවත්, වඩින්නට පෙර උන්වහන්සේ සිහිපත්වීම සදහා යම් සිහිවටනයක් ලබා දෙන ලෙසට සුමන නායකතුමා කළ ඉල්ලීමට අනුව තමන් වහන්සේගේ හිස පිරිමැද ජීවමාන කේෂ ධාතු ස්වල්පයක් සුමන නායකතුමාට දුන් බවත්, එම ජීවමාන කේෂ ධාතු තැම්පත් කර ප්‍රථම වරට සත්රියන් උස ඉදුනිල්මිණි සෑයක් ඉදිකළ බවත් ඓතිහාසික මූලාශ්‍ර වලින් වඩවඩාත් සනාථ වේ.
පසු කළක දී එනම් ඊට වසර 45කට පසු බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යනමක් වන සරභූ මහරහතන් වහන්සේ සෘද්ධියෙන් දැවෙන චිතකයට වැඩම කර බුදුන්වහන්සේගේ ග්‍රීවා ධාතුව රැගෙන ශ්‍රී ලංකාද්වීපයේ මහියංගනයට වැඩමවාගෙනවිත් සුමන නායකතුමා ඉදිකළ චෛත්‍ය තුළම තැම්පත් කර එය වට කොට දොළොස් රියන් උසට මේධෝ වර්ණ පාෂාණෙයන් චෛත්‍යයක් ඉදි කළ බවද ඓතිහාසික තොරතුරු මගින් සනාථ කරනු ලබයි. ඊට පසු කාලයක දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරකු වන උද්ධ චූලාභය නැමැති රජතුමා විසින් මෙම සෑය කලුගල් පාෂාණයෙන් තිස්රියන් කොට විශාල කළ බවත්, නැවත ශ්‍රී ලංකාව එක්සේසත් කළ අනුරාධපුර රාජ්‍ය සමයේ රජකම් කළ දුටුගැමුණු මහ රජතුමාණන් විසින් අසූරියන් කොට මෙම චෛත්‍ය ඉදිකළ බවත් ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වේ.
සුමන සමන් දෙවියන් මහියංගනයේ ඉදුනිල්මිණි සෑය කරවා ඇත්තේ බුදුරජාණන්වහන්සේ පත්කඩය මත වැඩ සිටිමින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ස්ථානයේය. ඒ් අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් පූජනීය ස්ථාන වලට වඩා පහත කරුණු හේතුවෙන් මහියංගනය වඩ වඩාත් සුවිශේෂී සිද්ධස්ථානයක් බවට පත්ව ඇත.
ඒ අනුව බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ පළමු බෞද්ධ සිද්ධස්ථානය හා ලෝකයේ පළමු බෞද්ධ වෙහෙර මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේය. එමෙන්ම පළමුවරට බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා ධරණිතලයේ වාතලයට මුසුවූ පළමු ස්ථානය ද මහියංගනය වේ. එමෙන්ම දෙවිකෙනෙක්, මහරහතන්වහ්නසේ නමක්, රජකනෙක් එක්ව ඉදිකරන ලද ලොව පළමු සෑය වන්නේද මහියංගන චෛත්යරාජ්යාණනවහන්සේය. තවද නිල්මැණික් වලින්ද, මේදෝ වර්ණ පාෂාණයෙන්ද, කළුගල් පාෂාණයෙන්ද, ගඩොල් පාෂාණයෙන්ද ඉදිවූ ලොව එකම දාගැබ මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේය. තවද ශ්‍රී ලාංකිකයකු බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා ශ්‍රී ලංකා ධරණිතලයේදීම සෝවාන් ඵලයට පත්වූ ශ්‍රී ලංකාවේ එකම පුණ්‍ය භූමිය මහියංගන පූජා භූමියයි. සමන් දෙවියන්වහන්සේගේ මූලස්ථානය වශයෙන් සැලකෙන්නේද මහියංගනයයි. ඒ් නිසා සිරිපා කරුණා කිරීමට පෙර බැතිමතුන් මහියංගන සමන් දෙවියන්ගේ මූලස්ථානයට පැමිණ පුදපූජා පවත්වා ආශිර්වාද ගෙන සිරිපා වන්දනා කරයි.
මහියංගන මහ වෙහෙරට අනුග්‍රහය දැක්වූ රජවරු
උද්ධචූලාභය කුමරු ක්‍රි.පූ. 307 – 267
දුටුගැමුණු මහ රජු ක්‍රි.පූ. 161 – 137
වෝහාරිකතිස්ස රජු ක්‍රි.ව. 210 – 232
පළමුවන ජෙට්ඨතිස්ස රජු ක්‍රි.ව. 267 - 277
දෙවන සේන රජු ක්‍රි.ව. 839 – 874
හතරවන කාශ්‍යප රජු ක්‍රි.ව. 885 – 945
හතර වන උදය රජු ක්‍රි.ව. 938 - 945
මහා විජයබාහු රජු ක්‍රි.ව. 1055 – 1110
පළමු වන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1153 - 1186
නිශ්ශංකමල්ල රජු ක්‍රි.ව. 1187 – 1196
හයවන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1412 – 1467
පළමු වන විමලධර්මසූරිය රජු ක්‍රි.ව. 1591 – 1604
දෙවන රාජසිංහ රජු ක්‍රි.ව. 1635 – 1687
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ක්‍රි.ව. 1706 - 1739
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ක්‍රි.ව. 1707 – 1739
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි.ව. 1747 – 1782
මීට අමතරව විවිධ කාල වකවානු වලදී මහියංගනය ප්‍රාදේශීය පාලක රජවරු, රාජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය නිළකරුවන් මහියංගන වෙහෙරට නොයෙක් අයුරින් අනුග්‍රහය දක්වා ඇත.