Mahiyangana, Sri Lanka
මහා වංශයේ සදහන් කර ඇති පරිදි දුටුගැමුණු රජු රුහුණේ සිට මහියංගනයට සම්ප්‍රාප්ත වූයේ එළාර රජුගේ සෙන්පති ජත්‍ර විසින් පාලනය කළ මහියංගනය මුදාගැනීම පිණිසයි. රජුගේ අණ පරිදි නටබුන් වී ඇති ස්ථූපය අසල තාවකාලික මාළිගාවක් ඉදි කළ අතර තිස්ස මහා විහාරයේ සිට රජු සමග වැඩම කළ ධම්මරක්ඛිත හිමියන් ප්‍රමුඛ මහා සංඝයාට රජු විසින් මහියංගන විහාරයේ භාරකාරිත්වය ලබා දී ඇත. මෙම පුවත ථූපවංශයේ සදහන් වන්නේ “රජ මහ සෙනගපිරිවරා තුන්ගම්කසටපිටියෙන් නික්ම මියුගුණු ගොස් මියුගුණෙහි ඡත්‍ර නම් දෙමළා හා සටන් කොට ඌ මරා ඟඟ ලා මියුගුණේ කසු දාගැබක් කර වූය” යනුවෙනි.
ඉන් පසුව ඉදිකරන ලද සංඝාවාස දෙකක් දක්නට ඇත. ඉන් පැරණි සංඝාවාසය මේ වන විට දශක හතක් පමණ පැරණිය. අනෙක් දෙමහල් සංඝාවාසය වර්තමානයට ගැළපෙන අන්දමින් වත්මන් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් ඉදිකර ඇත. පැරණි සංඝාවාසය මේ වන විට විහාරාධිපති නාහිමිපාණන්වහන්සේ විසින් නවීකරණය කොට විශ්‍රාම ශාලාවක් බවට පත්කර ඇත.