Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

මහියංගන ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාලය

Back to About

මහානාග වන උයන හෙවත් මහියංගන අලුත්නුවර එකල සුමන නැමැති ප්‍රාදේශික පාලකයාගේ මාළිගාව පිහිටා තිබූ භූමිය දැනට මහියංගන මහ සමන් දේවාල භූමිය බව සදහන් කරයි. දැනට පැරණි දේවාලය හා අළුත් දේවාලය වශයෙන් දේවාල දෙකක් පවතී. මෙහි අලුත් දේවාලය ගොඩනගා ඇත්තේ පැරණි දේවාලයට ආසන්නවයි. පැරණි දේවාලයට දැනටත් බොහෝ බැතිමතුන් පුද පුජා පවත්වා පුදපඩුරු භාරහාර පවත්වයි. පැරණි දේවාලයේ නටඹුන් විසිර පවතින අතර, නව දේවාලය ගොඩනැගීමට ඇතැම් නටඹුන් උපයෝගි කරගෙන ඇති බව අළුත් දේවාලය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. පැරණි ගල් උළුඅස්සේ කොටස සහ සඳගල නැමැති සදකඩ පහණ ද ඒ සදහා උදාහරණ වේ.

සමන් දේවාලය පිළිබද වංශකථා වල සදහන් වන්නේ නැතිරම්ය. එබැවින් දේවාලයේ පෞරාණිකත්වය පිළිබද නිගමනයකට එළඹීමට අපහසුය. නමුත් ක්‍රි.ව. 1635 දී රජ වූ දෙවන රාජසිංහ රජු බින්තැන්නේ ස්වකීය ජන්ම භූමිය හරහා මඩකලපුවට ගිය රාජකාරී ගමනකදී සමන් දෙවිදුන්ගේ හාස්කම් දැක සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වන්නැයි නියෝග කළ බව ද ඒ් සදහා අවශ්‍ය ගම්වර කීපයක් පවරා දුන් බව ද සදහන් කර ඇත. එයින් ගම්‍ය වන්නේ මහියංගන සමන් දේවාලය දෙවන රාජසිංහ යුගය වන විටත් ක්‍රියාත්මකව පැවති බවයි.

සමන් දෙවියන්ගේ නිත්‍ය නේවාසික ස්ථානය රත්නපුර මහා සමන් දේවාලය වුවද, සමන් දෙවියන්ගේ මූලස්ථානය මහියංගන අලුත්නුවර මහසමන් දේවාලයයි. එයට හොදම උදාහරණය ලෙස අතීතයේ පටන් සමන් දෙවියන් උදෙසා කරන යාතිකාවේ එනම්, “සිද්ධ පස්වාන් දහසකට අවසර පස්වාන් දහසකට කීර්ති පස්වාන් දහසකට සිද්ධ ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්වහන්සේ සෝවාන් ඵලයට පැමිණියා වූ ඔබ වහන්සේ දිවා ගුහාවට බොල්ලෑගලට ආරූඪ වූ සබරගමුව හිම මාළිගාවට මහියංගන අලුත්නුවර මහා මූලස්ථානයේ ජීවමානව වැඩවාසය කරන්නා වූ ඔබවහන්සේට” යනුවෙන් සදහන් වේ.

සමන් දේවාල භූමියේ මහාලොකු මෑණියන්ගේ කුඩා දේවාලයක්ද පවතී. මහා ලොකු මෑණියෝ යනු සමන් දෙවියන්ගේ සහෝදරියක් බව සදහන් වේ. ඒ් අනුව මහා ලොකුමෑණියන් වහන්සේ සමන් දෙවියන්වහන්සේ සමග එන බොහෝ ඉතිහාස කතා සමග බද්ධව පවතී. තවද සමන් දෙවියන්ගේ හාස්කම් පිළිබදව රජ දවස පටන් බොහෝ කතා අසන්නට ලැබෙනවා මෙන්ම බැතිමතුන් තුළද සමන් දෙවියන් පිළිබද දැඩි විශ්වාසයක් ගැබ්ව ඇත.

සමන් දේවාලය ඉතිහාසගත තොරතුරු අනුව මෙන්ම දැනටත් වෙනම ම බස්නායක නිළමේ වරයකු හරහා පාලනය වේ. බස්නායක නිළමේ වරයා තෝරා පත්කර ගනු ලබන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ දේවාලය වල බස්නායක නිළමේ වරුන්ගේ හා බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඡන්දයක් පැවැත්වීමෙන්ය. එසේ පත්වන බස්නායක නිළමේ වරයගේ ධූර කාලය වර්ෂ පහකි.

සමන් දේවාලයටද මහියංගන රාජමහා විහාරය මෙන්ම වෙනම ම පුද පූජාවන්, තේවා කටයුතු සිදුකරනු ලබයි. මේවාගෙන් බොහෝ පූජාවන් හා මංගල්‍යයන් මහියංගන රාජමහා විහාරය සමග බද්ධව පවතී. ඒවා අතර දුරුතු මංගල්‍ය, අවුරුදු මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, කාර්තික මංගල්‍ය වේ. මේ සදහා වෙනම ම නිළකරුවන් ඇත. නිළකරුවන්ගෙන් පැවත එන පරම්පරා මගින් එම චාරිත්‍ර වාරිත්‍ර දිගින් දිගටම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. මීට අමතරව මහියංගන සමන් දේවාලය හා බැදුන පුද පූජාවන් පවතින අතර, ඒවා පිළිබදව සටහනක් ඉදිරියේදී මෙයට එකතු කිරීමට කටයුතු කරන්නෙමු.

Chat with us
Mahiyangana Raja Maha Viharaya