Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

මහියංගන රාජමහා විහාරය සතු අලි ඇතුන්

Back to About

මහියංගන විහාරයේ අලි ඇතුන් පිළිබදව වාර්තාගත තොරතුරු මෙතෙක් හමු වී නැත. අලි ඇතුන් පිළිබදව මෙම තොරතුරු වාර්තා කරනු ලබන්නේ විහාරයේ දැනට සිටින හස්ති පාලක මහතුන්ගෙන් ලබාගත් තොරතුරු මතය. ඒ අනුව 1968 වර්ෂයේදී “බණ්ඩා” නැමැති අලියා බිබිලේ කවුඩැල්ල කෝට්ටේ මුදලාලි මහතෙකු විසින් පූජා කර ඇත. ඉන් පසුව1970 දශකයේ මුල් භාගයේ දී විහාරස්ථානයේ අලි පන්තියට “කන්දා” නැමැති අලියා විහාරයේ භාරකාර හිමි විසින් මිලදී ගෙන ඇත. ඒම දශකයේ මැද භාගයේ දී “රාජු” අලියා නැතහොත් “බෙන්තර බඩා” නැමැති අනුවර්ථ නාමයකින් හැදින්වූ අලියෙකු එවකට භාරකාර හිමිපාණන්වහන්සේ විසින් මිලදී ගෙන විහාරස්ථාන අලි පන්තියට එකතු කර ඇත. මෙම අලියාට “බෙන්තර බඩා” නැමැති අනුවර්ථ නාමය ලැබී ඇත්තේ විශාල බඩක් පැවතීම නිසා බව හස්ති පාලකයන් සදහන් කරයි.

එම කාලයේදී “කන්දා” නැමැති අලියා බදුල්ල දේවාල පෙරහැරකට සහභාගි වීමට ගොස් ඇති අතර, එහිදී ඇතිවූ කලබලයකදී තම හස්තිපාලක මරා එම අවස්ථාවේදී පිට උඩට නැග සිටි සහයක හස්ති පාලක පිටේ තබාගෙන මහියංගන විහාරයට හස්තිපාලකවරයෙක් නොමැතිව පැමිණ ඇත. එසේ ගෙවාගෙන ආ දුර කිලෝමීටර 52 ක් පමණ වේ.

ඉහත සදහන් කළ අලින් තිදෙනා පිළිබද නිශ්චිත වයසක් කීමට ඔවුන් දැනුවත් නොමැති බව සදහන් කරයි. නමුත් එම අලින් තිදෙනාම ඉතා වයස්ගත අලින් බවත්, එම අලින් 1980 දශකයේ අගදී විවිධ කාලවල මියගොස් ඇත.

පසුව තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිළධාරී ඩබ්ලිව්.එම්. අප්පුහාමී මහතා විසින් 1981 වර්ෂයේ දී “බණ්ඩක්කා අලියා” නැමැති අලියෙකු හා “මැණිකේ ඇතින්න” නැමැති ඇතින්නක පූජාකර ඇත. එම අලියාට “බණ්ඩක්කා” අලියා නැමැති නම පටබැදී ඇත්තේ අප්පුහාමී මහතා විසින් බණ්ඩක්කා වගා කර විකුණා එම මුදල් වලින් එම අලියා මිලදී ගැනීම නිසයි. බණ්ඩක්කා අලියා උසින් අඩි 11 අගල් 6 පමණ උසින් යුතු අතර, වසර 65 ක ආයු ලබා 1998 වර්ෂයේදී මියගොස් ඇත. ඉන් පසුව මැණිකේ ඇතින්න 2014 වර්ෂයේදී අවුරුදු 96 ක කාලයක් ජීවත්ව ඉද මියගොස් ඇත. මෙම ඇතින්න අඩි 10 අගල් 6 ක් පමණ උසින් යුතු අතර, ඕනෑම වැඩකට දක්ෂ බව අදටත් ජීවත්ව සිටින හස්තිපාලක මහතුන් ප්‍රකාශ කරයි. (මෙම අලියා සහ ඇතින්න රැකබලාගත් හස්තිපාලක මහතුන් දැනටත් ජීවත්ව සිටී. මෙම තොරතුරු ඔවුන්ගෙන් ලබා ගන්නා ලදී)

දැනට මහියංගන විහාරයේ “සාලිය” නැමැති අලියාත්, “ඉසුරු” නැමැති අලියාත් ඉතා හොදින් ඇති දැඩි වෙමින් සිටී. සාලිය අලියා 1984 වර්ෂයේදී මහියංගන විහාරයට පූජා කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් වන අතර, පූජා කරන අවස්ථාවේ අලි පැටවාගේ වයස අවුරුදු 5 ½ ක් පමණ බව සදහන් කරයි. ඉසුරු නැමැති අලියා 2002 වර්ෂයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පූජා කර ඇත. ඉසුරුගේ වයස ඒ වන විට අවුරුදු 5 ½ කි.

මෙම හස්තීන් දෙදෙනා මහියංගන පෙරහැර මංගල්‍යයට මෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍ය සදහාත්, ලංකාවේ විවිධ ප්‍රදේශ වල පැවැත්වෙන පෙරහැර සදහාත් තම දායකත්වය නොකඩවා ලබාදෙමින් සිටියි.

Chat with us
Mahiyangana Raja Maha Viharaya