Mahiyangana, Sri Lanka
මහියංගනයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික අවධිය දක්වා දිව යයි. ලේඛන ගත තොරතුරුවලට අනුව ඉපැරණි මහියංගනය පිළිබද පළමු වරට සදහන් වන්නේ දීප වංසයෙහිය. එහි ඒ සදහා යෙදී ඇත්තේ “මහිය පොක්ඛල” යන නමයි. වංසත්ථප්පකාසීනියේ මහියංගනය හදුන්වා ඇත්තේ “මහා නාග වන උයන” යනුවෙන්ය. අද ප්‍රචලිත මහියංගණ යන නාමය දීප වංශයට මද කලකට පසුව රචිත මහා වංශයෙහි දැක්වේ. ඊට අමතරව “මිණිපේ, මිණිබේ(දනව්ව), වේරමිණිබේ, මියුගුණු, බින්තැන්න” යන සිංහල නම්වලින්ද, “මණිභේද, මණිභාග,මණිමේඛල” යන පාළි නම් වලිනුත්, මහායාන ලංකාවතාර සූත්‍ර, රාමායණය ආදී සකුපොත්වල මහියංගනයට ආසන්න ලග්ගල මුල්කරගෙන “ලංකාගිරි, රත්නගිරි, රත්නපර්වත” යන නම් වලිනුත්, එක් එක් යුගවල නගර, උපනගර, ජනපද (දනවු) ලෙස භාවිත මේ පෙදෙසට වැවහර වී ඇත. එහි භූමි ප්‍රමාණය හා කඩඉම් ද වරින් වර වෙනස් වී ඇත. ඇතැම් සිතියම්වල “අලුත්නුවර” යන නාමයෙන්ද මහියංගනය හදුන්වා ඇත. මහියංගනය පිළිබද තවත් ප්‍රාග් ඓතිහාසික ප්‍රවාද සටහන් වී ඇත්තේ මහාවංශයටත් වඩා ඉපැරණි සමන්තපාසාදිකා විනය අටුවාවේය. පූජාවලිය, හත්ථවනගල්ල විහාර වංශයේද මහියංගනය පිළිබද සදහන්ව ඇත.
ක්‍රි. පූ. 588 දුරුතු මස පුරපසළොස්වක දා බුදුන් වහන්සේ ලංකාද්වීපයේ ගංගා තීරයෙහි වූ මහා නාග වනයෙහි මහියංගන ථූපය පිහිටන ස්ථානයට වැඩම කළ බවත්, මහානාග වනය යොදුන් තුනක් දිග හා යොදුන් එකක් පළල බව මහා වංශයේ සදහන් වේ. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේ ලංකාව තුළ යක්ඛ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර හතරකට අයත් ජන කොට්ඨාශයන් ජීවත්ව ඇත. එම ගෝත්‍ර හතරට අයත් ජනයා සිව්හෙළයන් ලෙස අතීතයේ පටන් හදුන්වා ඇත. එයින් “යක්ඛ” යැයි කියනු ලබන ගෝත්‍රය මහියංගනය ප්‍රදේශය මූලික කරගෙන ජීවත්ව ඇත.
තවද මෙම ප්‍රදේශය ඈත අතීතයේ සිට ආර්ථික වශයෙන් ඉතා වැදගත් පුරාණ වෙළද නගරයක් වශයෙන්ද, රට අභ්‍යන්තර පිහිටි සශ්‍රීක භූමි භාගයක් වූ නිසාද, ස්වදේශික ජනයා බහුල වශයෙන් වාසය කළ ප්‍රදේශයක් ලෙසද හදුනා ගත හැක. ඔවුන් අතර දියුණු ශිෂ්ඨාචාරයක් පැවතිය බවද විවිධ ලේඛන අනුව පැහැදිලි වේ. එමෙන්ම මහියංගනය පිහිටි රට සහ රුහුණු රට වෙන් කරන දේශ සීමාවක්ද විය. එළාර රජුගේ බලකොටු 18 න් ප්‍රබලම බල කොටුව වූයේ මහියංගනයයි. දෙවන අග්බෝ රජු විසින් ඉදි කළ මිණිපේ අමුණ ප්‍රදේශයේ කෘෂිකාර්මික දියුණුවේ මූලාරම්භය වූ බව අපට ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යනය කිරීමෙන් හදුනාගත හැක.
මහියංගනය ඈත අතීයේදී පවා ඉතා වැදගත් සිද්ධස්ථානයක් මෙන්ම ආර්ථික වශයෙන්ද ශක්තිමත්ව තිබූ ප්‍රදේශයක් නිසා විවිධ කාල වලදී ලංකාවට එල්ල වූ ආක්‍රමණයන් වලට ඉතා ප්‍රභල වශයෙන් ලක්විය. එයින් 12 වන සියවසේදී දකුණු ඉන්දීය චෝල ආක්‍රමණ එල්ලවීම පිළිබද වංසත්ථප්පකාසිනියේ සදහන් වේ.
අතීතයේ අදින ලද සිතියම් වල පවා මහියංගනය සලකුණු කර ඇති අයුරු දැකගන්නට ඇත. එයට උදාහරණ වශයෙන් ටොලමි විසින් අවස්ථා දෙකක දී අදින ලද ලංකාසිතියමේ මහියංගනය ද ලකුණු කර ඇති බව දක්නට ඇත.
ඒ් අනුව පෙනී යන්නේ මහියංගනය අතීතයේ පටන්ම සෑම අතින්ම ඉතා වැදගත් දියුණු ප්‍රදේශයක් වූ බවයි.